Sunday, May 17, 2015

අසමාන්තර සරල රේඛා....

සරල රේඛාව
තිත් ගොඩකි...
ඒය ඡේදනය කරන සරල රේඛාවටද
තිත් ගොඩකි...

නමුත් අසමාන්තර
සරල රේඛාවෝ
ඡේදනය වනුයේ....
ඒකම ඒක තිතක් මතිනි.

නිමිත්ත,

මේ විශ්ව විද්‍යාලයේ විභාග සමයයි. සුන්දර උසස්ස පෙල අතීතය තනිවුණ මට සරල රේඛාව නම් ශුද්ධ ගණිතයේ පාඩමක් මතක් විය.
සරල උනත් සරල රේඛාව මාරය. සරල රේඛාවක් හැදෙන්නේ පුංචි තිත් ගොඩක් ඒක පෙළට සැකසිල. අනන්ත ප්‍රමාණයක් තිත් තිබ්බත් සරල රේඛාවක් සමාන්තර නොවන තවත් රේඛාවක් ඒක්ක කැපෙන්නේ ඒකම ඒක තිතක් මතදි.

මිනිස්සු විවිධාකාරයි....
හුගක් අය හිතන්නේ දෙදෙනෙක් අතර හොද සබඳතාවක් ගොඩ නැගෙන්නේ ඒ දෙදෙනාම සමාන ගති පැවතුම් තියනවනම් විතරයි කියලා. ඒ වුනත් නොගැලපීම් අනන්ත ගණනක් අතරේ පවතින ඒකම ඒක ගැලපීමක් ඒ දෙන්නව සදහටම ඒක් කරන්න පුළුවන් අවස්ථාත් නැතිවාම නෙවෙයි.

Saturday, March 1, 2014

දිය දෝත...

පැලි වලං පැලී ගිය
වැවක ඉස්මත්තෙ හිද
දිය සොයා තැවෙන ඔබ
කවදනම් සැනහේද?

නිමිත්ත
පැලි වලං පැලී ගියපු වැවක වතුර පොදක් වත් නෑ.
වතුර පිපාසාවට වතුර ටිකක් බොන්න ඒ වගේ වැවක් ළගට ගිහින් ඉන්න කෙනකේ දැක්කොත් ඔයත් මමත් ඒ මනුස්සයට හිනා වේවි. වෙන වැවක් හරි දොලක් හරි මොන මගුලකින් හරි වතුර ටිකක් හොයා නොගෙන මොකක්ද මේ කරන විකාරෙ කියල.
ඒත්......

එතන ඕනවටත් වඩා එතන වතුර තිබ්බ. කාලෙකදි එන ඉඩොරෙකට වේලිලා ගියාට එතන කවද හරි වතුරෙන් පිරෙනවාමයි. ඒ මනුස්සයාට ඒ වැව පිරෙනකන් පිපාසෙ ඉවසන්න පුළුවන් නම් අපි කවුරු කවුරුත් ඒ මනුස්සයට විහිළු නොකර එතනින් යන්න යමු. ඒ මනුස්සය මැරෙන්න කළින් පිපාසේ නිවා ගන්න පුළුවන් වෙයි කියල හදවතින් ම ප්‍රාර්ථනා කරමු!

Wednesday, November 13, 2013

හීනය....

නොතෙරෙන කාලයෙ සිට
පෙම් කළෙමි හඳ ඔබ වෙත,
අදිටන් කළෙමි විරියෙන
දිවි ගෙවන්නට ඔබ මත...

සඳ දිහාවෙම නෙත යොමා
තරණය කළෙමි නිතැතිනා
පොළෝ තලයෙන් මාත් නොදැනම
ටිකෙන් ටික මම නික්මුනා...

හිඳින්නෙ මම හඳ මත
පැතූ ලෙස පෙර සිතු ලෙස,
කවුරුවත් නැත දකිනට
නෙත ගැටෙන දුර මානෙක...
නිමිත්ත 
බහ තොරන කාලයේ ඉදල අපිට හීන තියෙනව. සමහර හීන කාලයත් එක්කම අමතක වෙලා ගියත් සමහර හීන හැබෑ කරගන්න අපි උපරිම උත්සහය දරනව.
සමහරු ඒ හීනෙ සැබෑ කරගන්නෙ ලෞකික ජිවිතයෙ අපි තියාගත යුතු මානුශික බැදීම් ගැන වත් තුට්ටුවකට මායිම්කරන්නෙ නැතුව.
එහෙම අය සමහර විට හීනෙ හැබෑ කර ගනීවී. හැබැයි ඒ හීනෙ සැබෑ කරගත්ත සතුට බෙදා  ගන්නවත් හිතවතෙක් ළඟ නොහිඳීවි.

Sunday, November 10, 2013

පුංචි තරුව........

දුටුවෙමි ඈත අහසේ
දුලනා පුංචි තරුවක්...
හිමි කරගනු බැහැයි දනිතත්
ආදරෙන් බැදෙමි මං,
බැලුවෙමි අහස පසු දිනෙක
දුටුවේ එදින සද පුන්...
අමතක කරමි මම
අමාවක දා දුටු පුංචි තරුව නුඹ...

නිමිත්ත.................
මෙම් මීට බොහොම කලකට පෙර ලියවුනකි.
අත්දැකීම් අඩු ලුහුඩුතාවය හෝ මෙය මෙසේ විනැයි කිව නොහැකි කාරණා මත අහම්බයෙන් අයෙක් ආදරය කරන්නට පෙලබෙති.
කාලානුරූපී චෛතසික විපර්‍යාසය නිසාවෙන් ඒ අහබු තීරණය පසු විපරම් කරන්නට කටයුතු යෙදුනු කල අළුත් ගමනක් ඇරබීමට පෙලබීම සාහසික යැයි කිව හැක්කේ කාටද? කුමන පදනමක සිටද????